(Economical Efficiency in Sinhala) ආර්ථික කාර්යක්ෂමතාවය

ආර්ථික කාර්යක්ෂමතාවය ගැන අදහසක් ගන්න පහළ තියෙන රූපය දිහා බලන්න. මේ රූපයෙ තියෙන්නේ ඉදිකිරීම් කටයුතු කරන ආයතන 2ක්.
පළවෙනි ආයතනයෙ ඉන්නවා සේවකයෝ 200ක් හැබැයි දවසකටම හදන්නෙ ගෙවල් 50ක් විතරයි. ඒත් 2වෙනි ආයතනයේ ඉන්න සේවකයො 25 දෙනාගෙන එයාලා දවසකට ගෙවල් හදනවා 250ක්.
එහෙනම් අපිට නිගමනයක් ගන්න පුළුවන් මොන ආයතනයද කාර්යක්ෂම කියලා. කාර්යක්ෂම ආයතනය 2වැනි ආයතනය. හේතුව අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලොකු නිමැවුමක් ගන්න එක.

මෙන්න මෙහෙම අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ගන්න එකට අපි කියන්නෙ නිෂ්පාදන කාර්යක්ෂමතාව කියලා. (ඒක කලින් ලිපියකදි අපි මීටත් වඩා පැහැදිලිව කථාකරලා තියෙනවා)

හැබැයි මෙහෙම අවම යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ගත්තා කියලා ආර්ථික කාර්මක්ෂමතාවය ඉෂ්ට වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ නිෂ්පාදනය කාර්යක්ෂම වුණා කියලා ආර්ථික කාර්යක්ෂමතාවය ඇතිවෙන්නෙ නැහැ. ඒක බලන්නකො පහත රූපයෙන්.

දැන් අර අපි උඩදි නිෂ්පාදනය කාර්යක්ෂමයි කියාපු 2වැනි ඉදිකිරීම් ආයතනයට කොන්ත්‍රාත් එකක් ලැබෙනවා. ඒක තමයි ගමට පාරක් හදල දෙන්න. දැන් ඒ 2වැනි ආයතනය අඩු යෙදවුම් ප්‍රමාණයකින් කාර්යක්ෂමව ගමට හදලා දෙනවා පිට්ටනයක්. ඉල්ලුවෙ පාරක් දුන්නෙ පිට්ටනියක්. (ඕන් බලන්නකො ඒකෙත් හැටි නේද? )

ඉතිං දැන් ඔයාලම හිතල බලන්න එහෙම ආර්ථිකයත් කාර්යක්ෂම ද? නැහැ එහෙම අපි ඉල්ලන දේ දෙන්නෙ නැති ආර්ථිකයක් කාර්යක්ෂම නැහැ.

අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලොකු නිමැවුමක් බිහිකරත් ඒක මිනිස්සු ඉල්ලපු කැමති දේ නෙමෙයි නම් වැඩක් නැහැ.
ඒ වගේම සමාජයක් විදිහට අපි ඉල්ලන දේ ක්ෂණිකව නිෂ්පාදන කාර්යක්ෂමතාවකින් සපයලා දෙන්නෙ නැත්තම් ඒකෙ වැඩකුත් නැහැ.

එහෙනම් ආර්ථිකය කාර්යක්ෂම වෙන්න කොන්දේසි 2ක් බලපානවා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති.

1) හදන දේ අඩුම යෙදවුම් ප්‍රමාණෙකින් හදන්න ඕනෙ (ඒ කියන්නෙ නිෂ්පාදනය කාර්යක්ෂමතාවය තියෙන්න ඕනෙ)

2) ඒ සම්පත් වලින් බිහිකරන දේ මිනිස්සු කැමති ඒ කියන්නෙ වරණය කරන දෙයක් වෙන්නත් ඕනෙ. ( ඒකට අපි කියන්නෙ සම්පත් බෙදාහැරීමේ කාර්යක්ෂමතාවය කියල)

එහෙනම් සමාජයක් සතු සම්පත් ඒ සමාජය වඩාත් කැමති ඒ කියන්නෙ වරණය කරන භාණ්ඩ හදන්න උපරිම විදිහට යෙදවීම තමයි ආර්ථික කාර්යත්ෂමතාවය. වෙනත් විදිහකින් තියනව නම් අවම යෙදවුම් වලින් උපරිම නිමැවුම ගන්නත් ඕනෙ ඒකෙන් සමාජය කැමති දේවල් හදන්නත් ඕනෙ.
අපේ උදාහරණෙන් කියනව නම් ගමට පාර හැදෙන්නත් ඕනෙ, ඒක ඉක්මණින් අඩුම යෙදවුම් පිරිවැයක් යටතේ හදන්නත් ඕනෙ.

No comments:

Post a Comment